
කිසි විටෙක මන්ත්‍රී ධුරයක් භාර නොගන්නා බව ආරක්ෂක ලේකම් කියයි
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු නොකරන බව අවධාරණය කරයි.
අද (02) මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීතිය මඟ හැර යාමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, පෙර කාලසීමාවන් සමඟ සසඳන විට මේ වනවිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ මෙහෙවරක් ඉටුකර ඇති බවය.
විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහාද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යළි අනුයුක්ත කිරීමේ අවස්ථාව හිමිවී ඇති බවද ඔහු අනාවරණ කළේය.
ඒ අනුව, ඉතා ඉක්මනින් හයිටි රාජ්‍යය වෙත ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.
තවද ආරක්ෂක අංශ තුළ යම් සාමාජික හිඟයක් පවතින බවත්, එය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



