
ද්විත්ව ගෙවීම් චෝදනා අසත්‍යයි – RDA පැහැදිලි කිරීම
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මගින් කිසිදු අවස්ථාවක එකම ගෙවීම දෙවරක් සිදු කර නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි. ප්‍රධාන ගිණුමෙන් හෝ ඒට සම්බන්ධ වෙනත් ගිණුම් හරහා සමාගම් හෝ කොන්ත්‍රාත්කරුවන් වෙත “double payment” එකක් සිදු වී නොමැති බවද ඔහු අවධාරණය කළේය.
මෙම පැහැදිලි කිරීම ලබාදුන්නේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරිය අයථා ගෙවීම් සිදුකර ඇති බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි. ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෙවීම් සිදුකරන ක්‍රමවේදය කිසිදු ලෙස වෙනස් කර නොමැති බවයි. RDA විසින් මුදල් යොමු කරන්නේ නිශ්චිත ගිණුම් පද්ධතියක් හරහා වන අතර, එය අනුව පමණක් බැංකුව මගින් ගෙවීම් සිදු කෙරේ.
BOC (ලංකා බැංකුව) හරහා ගෙවීම් දෙවරක් සිදුවී ඇතැයි ඇති චෝදනා පිළිබඳව ඔහු පැවසුවේ, එවැනි කරුණක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ලබාදිය යුත්තේ බැංකුව විසින්ම බවයි. RDA විසින් අමතර මුදල් නොයවන්නේ නම්, බැංකුව විසින් ස්වයංක්‍රීයව ගෙවීම් සිදු නොකරන බවද ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම, යම් overpayment එකක් බැංකුවකින් වැරදීමකින් සිදුවී ඇත්නම්, එය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වගකීමක් නොවන බවත්, එය බැංකුවක් හා කොන්ත්‍රාත්කරුවෙකු අතර ඇති විය හැකි ගැටළුවක් විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



