
අයවැයට විරෝධය පා රජයේ විධායක නිලධාරීන් හෙට රටපුරා වැඩවර්ජනයක
අයවැයට විරෝධය පා රජයේ විධායක නිලධාරීන් හෙට (20) දිවයින පුරා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
අයවැයට විරෝධය පා රජයේ විධායක නිලධාරීන්ගේ වැඩවර්ජනයට වෘත්තීය සමිති 20ක් – ගුරු විදුහල්පති විරෝධතාවත් 23 වැනිදා
2027 අයවැය යෝජනා මගින් විධායක සේවාවන්හි තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක දීමනා ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණද, විධායක ශ්‍රේණි රැසක් නොසලකා හැර ඇති බවට චෝදනා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.
රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් පමණ මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බව එම කමිටුව සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ඒකාබද්ධ කමිටුවේ නියෝජිතයෙකු මෙලෙස ප්‍රකාශ කළේය.
“හෙට දින රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20ක් එක්ක දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් කිරීමට තීරණය කරලා තියෙනවා. ඒකට ඇත්තටම හේතුවුණේ රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන විධායක ශ්‍රේණි 20ක් නොසලකා හරිමින් 2027 අයවැය යෝජනා මගින් මේ රටේ විධායක සේවාවන්හි තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් අරගෙන රජය විසින් දීමනා ඉහළ නැංවීමක් සිදුකර තිබෙනවා”
මේ අතර, මෙවර අයවැය මගින් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නොවැම්බර් 23 වැනිදා ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වෙයි.
මේ බව සඳහන් කළේ විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා විසිනි.
අධ්‍යාපන ක්ෂේත්රයේ සියලුම ආයතනවල සේවකයන්ට අදාළ අතුරු දීමනාව ලබාදිය යුතු බවට වෘත්තීය සමිති ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් මුදුන්කොටුව මහතා මෙසේ පැවසීය.
“ඔබ දන්නවා මේවන විට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයට අදාළ සියලුම ආයතනවල සේවකයෝ තමන්ගේ විරෝධතා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනාටම රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා දිය යුතුයි කියන ඉල්ලීම වෘත්තීය සමිති විසින් ඉල්ලීම් සිදුකරමින් ඉන්නවා. ප්‍රධාන විදුහල්පති සංගම් 7ක් සහ ගුරු සංගම් 20කට ආසන්න සංඛ්‍යාවක් එකට එක්ව පෙළගැහිලා ඉන්නවා ලබන 23 වෙනිදා විරෝධතාවය දියත් කරන්න”
ඒ අනුව 2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධය හෙට පැවැත්වෙන වැඩවර්ජනයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, රුපියල් 25,000ක අතුරු දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිතිවල විරෝධතාව නොවැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතය.



