
ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළට
ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් වාර්තාවීම පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් ඉහළ යන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ 2023 වසරේ සිට මේ දක්වා HIV ආසාදිතයින් වාර්තාවීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
මෙම වාර්තා අතරින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවද වෛද්‍යවරිය පැවසුවාය.
එමෙන්ම පිරිමි පුද්ගලයින් අතර HIV ආසාදන වාර්තාවීම කාන්තාවන්ට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවද ඇය පෙන්වා දුන්නාය.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා HIV ආසාදනය වීමට ප්‍රධාන හේතුවක් වන අතර, මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී එන්නත් කටු, සිරින්ජර් සහ අනෙකුත් උපකරණ හවුලේ භාවිත කිරීමද අවදානම වැඩි කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
HIV ආසාදනය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ භාවිතයෙන් රෝගය පාලනය කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
අඩු වයසකදී HIV ආසාදනය වූ පුද්ගලයින්ට දිගුකාලීනව වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය වන බවද ඇය සඳහන් කළාය.
මේ අතර HIV, ලිංගාශ්‍රිත රෝග සහ හෙපටයිටිස් වැනි රෝග හඳුනාගැනීම සහ ව්‍යාප්තිය අවම කිරීම සඳහා කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් නොමිලේ පරීක්ෂණ සහ වෛද්‍ය සේවා ලබාදීමට කටයුතු කර ඇත.
පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සුරකින අතර, ආසාදිත තත්ත්වයක් හඳුනාගතහොත් අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.



