
Rebuilding Sri Lanka වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරයි
දිට්වා ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල යළි ගොඩනැඟීම් කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ අවධානය යොමු කර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති එම කාර්ය සාධක බලකා රැස්වීමේදී, ආපදාවෙන් හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේදී මතුව ඇති ප්‍රමාදයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම 2026 වසරට අදාළ ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට පවතින බාධා සහ Rebuilding Sri Lanka වැඩසටහනේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ අර්ධ හානියට පත් නිවාස 50,554ක් සඳහා රුපියල් මිලියන 13,505ක් ලබාදී ඇති බවයි. පූර්ණ හානියට පත් නිවාස 49,18ක් සඳහා රුපියල් මිලියන 11,510ක මුදලක් මේ වන විට ලබාදී තිබේ.
මීට අමතරව, ආපදාව හේතුවෙන් හානි වූ මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳවද අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
හානියට පත් නිවාස නැවත ඉදිකිරීමේ වත්මන් ප්‍රගතිය, අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සහ තවදුරටත් සහන කඳවුරුවල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ගත යුතු පියවරද මෙහිදී සලකා බැලීණි.
ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වෙත ගොස් එහි වත්මන් තත්ත්වය සෘජුවම සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය කාර්ය සාධක බලකා සාමාජිකයන්ට උපදෙස් ලබාදී ඇත.
ජනතාවගේ දෛනික ජනජීවිතය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ඒ සඳහා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සෘජුව සාකච්ඡා කර අවශ්‍ය පියවර ගත යුතු බවද පෙන්වා දී තිබේ.
යළි ගොඩනැඟීම් කටයුතුවලට අදාළව මතුව ඇති ගැටලු විසඳමින් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමටද අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත.



