ප්‍රධාන පුවත්

ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

අධිකරණයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව පෙරේදා (03) රාත්‍රියේදී කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියදී උන්වහන්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඊයේ (04) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ පසු, අද (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පසුබිම් වී ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩුව 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී සිදුවූ සිද්ධියකි. එහිදී අධිකරණයේ අවසරයකින් තොරව අදහස් දැක්වීම සහ අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස හැසිරීම සම්බන්ධයෙන් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව 2018 මැයි 24 වැනිදා එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඥානසාර හිමි අධිකරණයට අපහානය කිරීමේ චෝදනාවලට වරදකරු කර තිබුණි. එහිදී බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවමක් නියම කර එය වසර 06කින් ගෙවී යන ආකාරයට නියම කර ඇත.

කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ජනාධිපති පොදු සමාව ලබාදී තිබේ.

එම පොදු සමාවට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුණු අතර, එහි තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව ඥානසාර හිමිට පොදු සමාව ලබාදී නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පොදු සමාව බලරහිත කිරීමෙන් අනතුරුවත් ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

එම මෝසම පසුගිය 29 වැනිදා කැඳවූ අවස්ථාවේදී නොතීසි නිකුත් කර තිබුණද ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

එමෙන්ම උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කරමින් වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමටත්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් ඥානසාර හිමි අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button