අද විශේෂ

වර්තමාන අර්බුද හමුවේ සම්බුද්ධ දේශනාවේ ආලෝකය වැදගත් – මහානායක හිමිවරු

ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් නිකුත් කළ ආශිර්වාද පණිවුඩයේදී වර්තමාන ගෝලීය අර්බුදකාරී වාතාවරණය තුළ සම්බුද්ධ දේශනාවේ ආලෝකය ජීවිතයට සමීප කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

උන්වහන්සේලා පෙන්වා දෙන්නේ, “හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇති වීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ ඤාණමය ආලෝකයෙන් ස්වජිවිත ප්‍රභාමත් කර ගැනීමෙහිලා වීර්යවන්ත වීම උතුම් සම්බුදු තෙමඟුල නිවැරදිව අර්ථවත් කිරීම බව” ය.

එමෙන්ම, “වර්තමාන ගෝලීය අර්බුද හමුවේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා සම්බුද්ධ දේශනාවන්ගේ සංස්පර්ෂය අප ජිවිත අලෝකමත් කර ගැනීමට ඉවහල් කර ගත යුතු වකවාණුවක අපි සැවොම ජිවත් වන බව නොරහසකි.” යනුවෙන් ද පණිවුඩයේ සඳහන් කර ඇත.

රට තුළ මතුව ඇති විවිධ සමාජ හා ආර්ථික අභියෝග හමුවේ ජනතාව ඡන්දය, ද්වේශය, භය, මෝහය යන සතර අගතීන්ගෙන් මිදී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්මවිහරණයන්ගෙන් පෝෂිතව කටයුතු කළ යුතු බව ද උන්වහන්සේලා අවධාරණය කර තිබේ.

තවද, තථාගතයන් වහන්සේ විසින් මහානාම ශාක්‍ය පුත්‍රයා අමතා දේශනා කළ “යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් මහා සංඝ රත්නය කෙරෙහිත් කරුණු දැන ඇති කරගත් නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වේද, සමාධිය පිණිස හේතු වන ආර්ය කාන්ත ශීලයෙන් යුක්ත වේද හෙතෙම නිවනට නැඹුරු වූයේ වෙයි” යන උතුම් සම්බුද්ධෝපදේශය සිහිපත් කරමින්, ධර්මානුකූල ජීවිතයක් ගොඩනැගීමට සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර ඇත.

මෙම වෙසක් දින පණිවුඩය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමි සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමි යන මහනාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button