
දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට උපදෙස්
දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සහ පවතින බාධා සමාලෝචනය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපිත අනුකමිටුව පස්වන වරටත් රැස්විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික සහ අනෙකුත් පොදු යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ වත්මන් ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ක්‍රියාත්මක ව්‍යාපෘතිවලදී මතුව ඇති ගැටලු සහ බාධා පිළිබඳ ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාළ තොරතුරු කඩිනමින් ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ආපදාවෙන් වැඩිම බලපෑමට ලක් වූ පළාත්වල ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් ඉදිරිපත් කළ අතර, පොදු පහසුකම් යළි ගොඩනැඟීමේ වත්මන් තත්ත්වය පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගගතව ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.



