
වාහන ආනයන බදු ප්‍රතිපත්ති ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක්
වාහන ආනයන බදු ප්‍රතිපත්ති සහ රේගුවෙන් ආනයනික භාණ්ඩ නිදහස් කර ගැනීමේදී මතුවන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වාහන ආනයන බදු ප්‍රතිපත්ති සරල කිරීම සහ රේගු නිදහස් කිරීමේ ප්‍රමාදයන් අවම කිරීම ගැන සාකච්ඡා
කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති මෙම රැස්වීමට ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් ද සහභාගී වී ඇත.
වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව මෙරටට ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව, ඒවායේ වටිනාකම් සහ අදාළ බදු අයකිරීමේ ක්‍රමවේද පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.
වාහන සඳහා බදු තීරණය කිරීමේදී එන්ජින් ධාරිතාව, CIF අගය සහ නිෂ්පාදන බදු ඇතුළු විවිධ සාධක සැලකිල්ලට ගැනීම හේතුවෙන් බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බව ද සාකච්ඡා වී ඇත. එමෙන්ම රේගු තක්සේරු කිරීම් සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් විය.
ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රේගුවට අමතරව තවත් රාජ්‍ය ආයතන කිහිපයකින් අනුමැතිය ලබාගැනීමට සිදුවීම නිසා ඇතිවන ප්‍රමාදයන් පිළිබඳව ද නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන්ම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් අනුමැතීන් ලබාගැනීමේදී සම්බන්ධීකරණ ගැටලු මතුවන බව මෙහිදී පෙන්වා දී ඇත.
එම තත්ත්වය හේතුවෙන් වරායන්හි බහාලුම් රඳවා තැබීමට සිදුවන අතර, ඒ නිසා ආනයනකරුවන්ට අමතර ගබඩා ගාස්තු සහ වෙනත් වියදම් දැරීමට සිදුවන බව ද නිලධාරීන් සඳහන් කර තිබේ. එබැවින් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කරමින් භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
මේ අතර විද්‍යුත් වාහන ආනයනය සහ භාවිතය සම්බන්ධයෙන් පවතින නියාමන හා පාරිසරික ගැටලු පිළිබඳව ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන්ම විද්‍යුත් වාහනවල බැටරි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වීමෙන් පසු ඒවා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා මෙරට තුළ විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය කරන අවස්ථාවේදීම බැටරිවල ආයු කාලය අවසන් වූ පසු ඒවා කළමනාකරණය කිරීමේ වගකීම ආනයනකරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් තහවුරු කර ගැනීමේ වැදගත්කම නිලධාරීන් පෙන්වා දී තිබේ.
එමෙන්ම විද්‍යුත් වාහන සහ ඒවායේ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්රමිතීන් හඳුන්වාදීම මෙන්ම රේගු බදු ගණනය කිරීම සඳහා භාවිත කරන HS කේතයන් නිසි පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක්ව ඇත.
විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවතින බදු ප්‍රතිපත්ති සරල කර, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට එම වාහන මිලදී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය වී තිබේ.
විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇති විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බලය ගබඩා කරන බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය හා භාවිතය දිරිගැන්වීම සඳහා සුදුසු බදු සහන හා ප්‍රතිපත්ති හඳුන්වාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි රේගු වර්ගීකරණය සහ HS කේතයන් යාවත්කාලීන කිරීම මෙන්ම භාවිතයෙන් ඉවත් වන බැටරි පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.



