කාලගුණය

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදය අද රාත්‍රී 10.30 දක්වා දීර්ඝ කෙරේ

තද සුළං සහ රළු මුහුද පිළිබඳ නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය අද (02) රාත්‍රී 10.30 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 සිට 65 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුද රළු හෝ ඇතැම් අවස්ථාවල ඉතා රළු ස්වභාවයක් ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටද, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි අපේක්ෂා කරන අතර, ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම්දී තිබේ.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button