
පේරාදෙණිය සරසවි ගංවතුර අවදානම – සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ පේරාදෙණිය සරසවි ගංවතුර අවදානම පිළිබඳ විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ, මහවැලි ගංද්‍රෝණිය ආශ්රිත නේවාසිකාගාරවල රැඳී සිටින සිසු සිසුවියන් පවතින තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. අවශ්‍ය වුවහොත් නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස ද ඔහු දැනුම් දී ඇත.
ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය කළු පාලම අසල ක්‍රියාත්මක පාලම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
වැඩබිමේ තිබූ යන්ත්‍ර සූත්‍ර කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ ජල පහරට හසුවූ උපකරණ හා ඉදිකිරීම් ද්‍රව්‍යවලින් කොටසක් ගඟ පහළට ගසාගෙන ගොස් ඇති බව ද වාර්තා වී තිබේ.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (03) පස්වරු 12.30ට නිකුත් කළ නිවේදනයකින් සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එම අනතුරු ඇඟවීම හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වේ.
උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගනිමින් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ඉදිරි දිනවලදීත් වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බැවින්, නිලධාරීන්ගේ උපදෙස් නිරන්තරයෙන් අනුගමනය කරමින් ආරක්ෂිතව කටයුතු කරන ලෙස මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.



