
මහනුවරට නායයෑම් රතු නිවේදනය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවරට නායයෑම් රතු නිවේදනය යටතේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 3 ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඊට අමතරව අදියර 2 (ඇම්බර්) අනතුරු ඇඟවීම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටින්තොට සහ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද නිකුත් කර ඇත.
එසේම අදියර 1 (කහ) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බලපැවැත්වේ.
මෙම නායයෑම් අනතුරු ඇඟවීම් අද (03) පෙරවරු 9.00 සිට හෙට (04) පෙරවරු 9.00 දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය තුළත් වර්ෂාව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් නායයෑම් අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, පසුගිය වර්ෂා සමයේ අනතුරුදායක ලෙස හඳුනාගත් ස්ථානවල ජීවත්වන ජනතාව අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් එම සංවිධානය දැනුම් දෙයි.



