දේශපාලන

දමිළ පක්ෂ හයක් ජනාධිපති හමුවීමට ඉල්ලීමක්

දමිළ පක්ෂ හයක් ජනාධිපති හමුවීමට නිල ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. පසුගියදා එකඟතාවකට පැමිණි දේශපාලන කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීම එහි අරමුණ බව එම පක්ෂ නියෝජිතයෝ පවසති.

ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වූ දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක නියෝජිතයන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම සහ සුළුතර ප්‍රජාවන්ට අදාළ ගැටලු සංවාදය මගින් විසඳීම යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ඔවුන් අතර මීට පෙර එකඟතාවක් ඇතිව තිබූ බව සඳහන්ය.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින රාජතාන්ත්‍රික නියෝජිතයන් ද හමුවී එම කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සිය ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන එම පක්ෂ නියෝජිතයෝ, අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කරමින් යුක්තිය, ස්ථාවර සාමය සහ දිගුකාලීන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම තම අපේක්ෂාව බවද සඳහන් කරති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button