
ඩෙංගු රෝගීන් 76,000 ඉක්මවයි
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම වසරේ මේ දක්වා 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබේ.
එම ඒකකයේ නවතම දත්ත අනුව ඊයේ (19) දිනය වන විට පමණක් නව රෝගීන් 2,652 දෙනෙකු වාර්තා වී ඇත. එමෙන්ම දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී ඇත.
මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති අතර මරණ අනුපාතිකය 0.07%ක් ලෙස සටහන් වේ.
පළාත් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.61%ක්, එනම් රෝගීන් 40,009ක් වේ. දකුණු පළාතෙන් රෝගීන් 11,707ක් (15.40%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් (8.46%) වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් 15,910ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වී ඇත. ඉන් 3,073ක්ම කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,330ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 5,111ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 5,010ක් වාර්තා වී ඇත.
පරිසරය පිරිසිදුව තබා ගැනීම, මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සහ උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.



