
වී අලෙවි මණ්ඩලය දින 4කදී වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
වී මිලදී ගැනීම යල කන්නයට අදාළව ආරම්භ කිරීමෙන් පසු පළමු දින හතර තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ මෙම වී තොගය රජය විසින් මිලදී ගෙන ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙවර වැඩිම වී අස්වැන්නක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු වී තොග ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි.
යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන පසුගිය 13 වැනිදා නිල වශයෙන් ආරම්භ කළ අතර, වැඩිම අස්වැන්න නෙළන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි වී ගබඩා විවෘත කරමින් මිලදී ගැනීම් ක්‍රියාත්මක කරන බවද වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
දැනට ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන් අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට මිලදී ගැනීමට නියමිතය.
මෙම මිල ගණන් යටතේ දිවයින පුරා ස්ථාන 143ක පිහිටි වී ගබඩා මධ්‍යස්ථානවල වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදුවෙමින් පවතින බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.



