ප්‍රධාන පුවත්

ඇන්ගෝලා කාන්තාවක් කොකේන් සමග කටුනායකදී අත්අඩංගුවට

ඇන්ගෝලා කාන්තාවක් කොකේන් ග්‍රෑම් 237ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 10කට අධික බව රේගුව සඳහන් කරයි.

අත්අඩංගුවට පත් කාන්තාව 54 හැවිරිදි ඇන්ගෝලා ජාතිකයෙකි. විමර්ශනවලට අනුව ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර හරහා කටාර්හි දෝහා වෙත ගොස්, එතැනින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ගුවන් යානයෙන් බැසීමෙන් පසු රෝද පුටුවකින් ගමන් කළ ඇයගේ සැකසහිත හැසිරීම හේතුවෙන් රේගු නිලධාරීන් පරීක්ෂාවකට ලක්කර තිබේ.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් අතරතුර ඇය සන්තකයේ තිබූ කොකේන් අඩංගු කරල් 14ක් ස්වේච්ඡාවෙන්ම නිලධාරීන්ට භාරදී ඇති බව සඳහන් වේ.

තවද, තවත් කොකේන් කරල් කිහිපයක් තමන් විසින් ගිල දමා ඇති බව ද ඇය රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් හමුවේ පිළිගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button