ප්‍රධාන පුවත්

රට විරුවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ලබන අයවැයට එක් කිරීමට උපදෙස්

රට විරුවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය 2027 අයවැය යෝජනා අතරට ඇතුළත් කිරීම සඳහා පවතින නීතිමය හා පරිපාලනමය ගැටලු කඩිනමින් විසඳා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදීය.

රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් විධිමත් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා පවතින නීතිමය සහ පරිපාලනමය බාධා ප්‍රමාදයකින් තොරව ඉවත් කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.

සංචාරක සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඒවාට අදාළ මුදල් ප්‍රතිපාදන සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිත වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. එමඟින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කර ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බවද සඳහන් විය.

තවද සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති මාර්ග සංවර්ධන අධිකාරිය, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාද අවම කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මස මුල් සතියේ සිටම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ හැකි වන පරිදි මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී අවධාරණය කෙරිණි.

කොන්සියුලර් සේවා තවදුරටත් ඩිජිටල්කරණය කිරීම, සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ඉඩම් හා සම්පත් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම සහ 2030 වන විට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය ලක්ෂ 8ක මානව සම්පත බිහිකිරීම සඳහා හෝටල් පාසල් පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button