
මීගමුව බන්ධනාගාර ගැටුමේ මූලික හේතුව හෙළිවෙයි
මීගමුව බන්ධනාගාර ගැටුමේ සිදුවීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලදී බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණ කළේය.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීතිමය කටයුතු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
එහිදී සිද්ධිය වූ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 2,417 දෙනාගෙන්ම ප්‍රකාශ ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නිලධාරීන් 40 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදී විමර්ශන සිදුකරන බවයි.
“ස්වාමිනි, මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැදවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අනුව සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිට ඇති මුළු රැඳවියන් ගණන 2417ක්. බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 166 දෙනෙකුත් සිට තිබෙනවා. නොසන්සුන්තාවයට මුල්වූ පළමු සිදුවීම වෙලා තියෙන්නේ ජුලි 05 වනදා. සාමාන්‍යයෙන් රැඳවියන්ට ශාරීරික ව්‍යායාම් කරන්න විනාඩි 30ක කාලයක් ලබාදෙනවා. මෙදින A(1) වාට්ටුවේ රඳවා සිටි කටුවැල්ලේගම සුරේෂ් නම් රැඳවියා තමන්ට ව්‍යායාම් සඳහා වැඩි කාලයක් ලබාදෙන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීයෙකුට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන කර තිබෙනවා. පසුව එදින A(1) වාට්ටුවේ දොර විවෘත කළ අවස්ථාවක සුරේෂ් නැමැති මේ රැඳවියා වාට්ටුවෙන් පිටතට පැන 02 වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසකට පහරදී තිබෙනවා. මෙය තමයි නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීම. මෙහිදී මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකුත් පසු අවස්ථාවක තවත් අයෙකුත් ලෙස රැඳවියන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. 36 දෙනෙක් රෝහල්ගත කරලා…”
විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේ ගැටුම අතරතුර බන්ධනාගාරයේ අවි ගබඩාවේ තිබූ ගිනිඅවි කිහිපයක් රැඳවියන් අතට පත්ව ඇති බවත්, තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මැදිහත් වූ බවත්ය.
එමෙන්ම ගැටුම අතරතුර T58 ගිනිඅවියක් සහ මැගසින් එකක් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් සොයාගත් බවද CIDය අධිකරණයට දැනුම් දුන්නේය.
“ස්වාමිනි, සිදුකළ වැඩිදුර විමර්ශනයේදී T58 ගිනිඅවියක් සහ මැගසින් එකක් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් හමුවුණා. එසේම බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සොයාගෙන තිබෙනවා. විමර්ශනයට අදාළව මේ වෙද්දි මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව පැවති ගිනිඅවි 50ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් ගිය නිලධාරීන් සතු ගිනිඅවි 10ක් ලෙස මුළු ගිනිඅවි 60ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා…”
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනීමැරීම ඇතුළු චෝදනා, තුවක්කු ආඥා පනත සහ පොදු දේපළ පනත යටතේ විමර්ශන පවත්වාගෙන යන බවද CIDය සඳහන් කළේය.
ගැටුම අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන් සම්බන්ධයෙන් වාර්තා කැඳවන ලෙසත්, මේ වනවිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
නඩුව යළි ජූලි 16 වනදා කැඳවීමට නියමිතව තිබේ.



