ප්‍රධාන පුවත්

පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන ජූලි 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පිල්ලෙයාන් රිමාන්ඩ් කිරීම සම්බන්ධ නියෝගය අද (13) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී නිකුත් කළ අතර, සැකකරු වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මඩකලපුව මහෙස්ත්‍රාත් ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අතර, 2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුවකට අදාළව මෙම නියෝගය ලබාදී තිබේ.

මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර ඇති අතර, කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇත.

අද පැවැති නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙකු කරුණු ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ 2008 වසරේදී T-56 ගිනිඅවි භාවිත කර සිදු කළ බවට අනාවරණය වූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බවයි.

එම සිද්ධි අතර 2008 ජනවාරි 09 වනදා මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම, 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2008 අගෝස්තු 20 වනදා වවුනතීව් කොතියපුල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම ඇතුළත් වේ.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජූලි 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

මේ අතර, මෙම සිද්ධියට අදාළ කල්ලඩි ඉඩම් ආරවුල සම්බන්ධයෙන් පවතින නඩුව ඔක්තෝබර් 29 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය පියවර ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button