
වාහන ආනයන සීමා නිසා වෙළෙඳපොළට බලපෑම් ඇතිවිය හැකියි
වාහන ආනයන සීමා ගැන අනතුරු ඇඟවීමක්
වාහන ආනයන සීමා හේතුවෙන් වෙළෙඳපොළ තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මෙරට වාහන අවශ්‍යතාව මේ වන විට යම් මට්ටමකට සපුරා ඇති බැවින්, පසුගිය වසරට සාපේක්ෂව මෙවර වාහන ආනයනයෙන් රජයට ලැබෙන බදු ආදායම අඩුවිය හැකි බවද ඔහු සඳහන් කර ඇත.
ලබන අගෝස්තු 15 වැනිදායින් පසු වාහන ආනයන ප්‍රතිපත්තිය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය වැදගත් වනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව අමතර අධිභාර පැනවීම සීමා වී ඇති නමුත්, එවැනි අධිභාර ඉවත් කිරීමේදී ද හදිසි වෙළෙඳපොළ වෙනස්කම් ඇතිවිය හැකි බව ඔහු පැවසීය.
පසුගිය කාලයේ පැවති දැඩි වාහන ඉල්ලුම මේ වන විට බොහෝ දුරට සම්පූර්ණ වී ඇති අතර, ආනයනකරුවන්ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා ඇති බව ඔහු සඳහන් කළේය. ඒ හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීම් ක්‍රමයෙන් පහළ යමින් පවතින බවද ඔහු පැවසීය.
දැනටමත් වාහන සඳහා ඉහළ තීරුබදු අය කරන බැවින් තවදුරටත් බදු වැඩි කිරීම සුදුසු නොවන බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු මහතා, රජය බදු ආදායම වැඩිකර ගැනීම මෙන්ම වියදම් කළමනාකරණය කිරීමද අවධානයට ගත යුතු බව අවධාරණය කළේය.
ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මඟින් බදු ආදායම ඉහළ නැංවිය හැකි අතර, ඒ හරහා රට ඉදිරියට ගමන් කරන බවට වෙළෙඳපොළට පැහැදිලි සංඥාවක් ලබාදිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



