සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2026 වසරේ මේ දක්වා 61,060 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, පසුගිය පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී තිබේ.

සමස්ත රෝගීන්ගෙන් සියයට 52.5ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 32,054කි. දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් වාර්තා වී ඇත.

මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක්, නැගෙනහිර පළාතෙන් 2,979ක්, වයඹ පළාතෙන් 2,778ක්, ඌව පළාතෙන් 1,550ක්, උතුරු මැද පළාතෙන් 1,013ක් සහ උතුරු පළාතෙන් 957ක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.

දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් (12,445) සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් (12,282) වාර්තා වී තිබේ. ඊට අමතරව මාතර (4,428), කළුතර (4,092), මහනුවර (3,802), රත්නපුර (3,588) සහ ගාල්ල (3,501) දිස්ත්‍රික්කවලද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

තවද කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 2,557ක්, හම්බන්තොටින් 1,745ක්, කෑගල්ලෙන් 1,649ක්, කුරුණෑගලින් 1,629ක්, මඩකලපුවෙන් 1,220ක් සහ පුත්තලමෙන් 1,149ක් වාර්තා වී තිබේ.

කල්මුණේ (784), මොනරාගල (776), බදුල්ල (774), යාපනය (708), කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය (678), මාතලේ (656), ත්‍රිකුණාමලය (563), අනුරාධපුරය (531), පොළොන්නරුව (482), අම්පාර (412) සහ නුවරඑළිය (365) යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වී ඇත.

අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වවුනියාව (94), මන්නාරම (64), කිලිනොච්චිය (56) සහ මුලතිව් (35) දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

නවතම තත්ත්වයට අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවද එම ඒකකය අවධාරණය කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button