ප්‍රධාන පුවත්

ජාතිවාදයට ඉඩ නෑ, සියලු ජාතීන් එක්විය යුතුයි – අමාත්‍ය විජිත

පටු දේශපාලන වාසි සඳහා ජාතිවාදය සහ ආගම්වාදය භාවිත කළ යුගය අවසන් වී ඇති අතර, සියලු ජාතීන්ට එකමුතුව ජීවත් විය හැකි විනයගරුක සහ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (28) කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේ පැවති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (YMMA) 76 වැනි සංවත්සර මහා සභාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, පසුගිය කාලයේ රටේ ආර්ථික බිඳවැටීම මෙන්ම යුද්ධයෙන් පසු උදා වූ ජාතික සමගිය තහවුරු කර ගැනීමේ අවස්ථාවද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය ව්‍යාප්ත කිරීම හේතුවෙන් අහිමි වූ බවයි.

2024 වසරෙන් පසු එවැනි ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් සඳහා රට තුළ ඉඩක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, රටේ ආර්ථිකය, නීතිය සහ විනය යළි ශක්තිමත් කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජාතීන්ගේ එකමුතුව අත්‍යවශ්‍ය බව ද පැවසීය.

“මුස්ලිම්, සිංහල හෝ වෙනත් ජාතියකට අයත් වුවත් අප සියලු දෙනාම මනුෂ්‍යයන්. භාෂාව, ආගම හෝ කුලය මත බෙදී නොසිට එකම පවුලක සාමාජිකයන් ලෙස සහයෝගයෙන් ජීවත් විය යුතුයි,” යනුවෙන්ද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම වසර 70කට අධික කාලයක් පුරා සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය සමාජ සුබසාධන ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වයද ඔහුගේ ඇගයීමට ලක්විය. මෑතකදී ඇති වූ ගංවතුර හා සුළි සුළං ආපදා අවස්ථාවලදී දකුණේ සිට පැමිණි මුස්ලිම් තරුණ ස්වේච්ඡා කණ්ඩායම් දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ලබාදුන් සහන සේවාවන් සහෝදරත්වයේ වටිනාකම ප්‍රායෝගිකව පෙන්වා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button