ප්‍රධාන පුවත්

WhatsApp හරහා පැතිරෙන NIC යාවත්කාලීන වංචාව ගැන අනතුරු ඇඟවීමක්

ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු යාවත්කාලීන කිරීමේ මුවාවෙන් WhatsApp ඔස්සේ සිදුකරන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) දැනුම් දී තිබේ.

මෙම වංචාව ඉතාමත් නිල සහ විශ්වාසදායක ආකාරයෙන් සැලසුම් කර ඇති බැවින් ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්ම එයට ගොදුරු විය හැකි බව CERT පෙන්වා දෙයි.

වංචාකරුවන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක් ලෙස පෙනෙන WhatsApp පණිවිඩයක් යොමු කරමින්, ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය සහ යාවත්කාලීන කිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දෙයි.

එම පණිවිඩවල ලබන්නාගේ සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ලිපිනය වැනි පෞද්ගලික තොරතුරුද නිවැරදිව ඇතුළත් කර ඇති අතර, පැමිණිය යුතු දිනය, වේලාව, ස්ථානය සහ අවශ්‍ය ලේඛන පිළිබඳ තොරතුරුද සඳහන් කර තිබේ.

තවද, නියමිත සත්‍යාපන ක්‍රියාවලියට සහභාගී නොවන්නේ නම් හැඳුනුම්පතට අදාළ සේවාවන් තාවකාලිකව අත්හිටුවිය හැකි බවට සඳහන් කිරීම හරහා පුද්ගලයන් තුළ භීතියක් ඇති කිරීමටද වංචාකරුවන් කටයුතු කරයි.

බොහෝ අවස්ථාවලදී මෙම පණිවිඩ නියමිත දිනයට ආසන්න කාලයකදී ලැබෙන බැවින්, පුද්ගලයන් එහි සඳහන් ව්‍යාජ දුරකතන අංක වෙත ඇමතුම් ලබා ගැනීමට පෙළඹේ. එහිදී අයදුම්පත් පිරවීම හෝ තොරතුරු තහවුරු කිරීමේ මුවාවෙන් OTP කේත සහ බැංකු ගිණුම්වලට අදාළ රහස්‍ය තොරතුරු ලබාගෙන මූල්‍ය වංචා සිදුකරන බව අනාවරණය වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරන්නේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක WhatsApp මාර්ගයෙන් තොරතුරු සත්‍යාපනය කිරීමක් සිදු නොකරන බවයි.

එබැවින් මෙවැනි පණිවිඩවල අඩංගු සබැඳි (Links) විවෘත කිරීමෙන් හෝ සඳහන් දුරකතන අංක වෙත ඇමතීමෙන් වැළකී සිටින ලෙසත්, OTP කේත ඇතුළු කිසිදු බැංකු රහස්‍ය තොරතුරක් වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන ලෙසත් මහජනතාවට උපදෙස් ලබාදී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button