සෞඛ්‍යය

13-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 12%ක් අධිබරින් – නව සමීක්ෂණයකින් හෙළිවේ

2024 වසරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 13ත් 14ත් අතර පාසල් දරුවන්ගෙන් 12%ක් අධිබර තත්ත්වයෙන් සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළේ, මෙම සමීක්ෂණයේදී දරුවන්ගේ ආහාර පුරුදුද විමර්ශනය කළ බවයි. එහිදී දරුවන්ගෙන් 17.4%ක් දෛනිකව කාබනීකෘත බීම වර්ග පානය කරන අතර, 28.5%ක් අධික ලුණු සහ තෙල් අඩංගු ආහාර භාවිත කරන බව හෙළි වී තිබේ. තවද 41%ක් සීනි අධික ආහාර දිනපතා හෝ වරකට වඩා වැඩි වාර ගණනකින් පරිභෝජනය කරන බවද වාර්තා වී ඇත.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව සෞඛ්‍යමත් පාසල් ආපනශාලා සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම මාර්ගෝපදේශ නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව ඇත්තේ ජූනි 22 වනදා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ජාතික පෝෂණ දින සැමරුම් උත්සවයේදීය.

මෙම මාර්ගෝපදේශ යටතේ පාසල් තුළ ක්‍රියාත්මක වන ආපනශාලාවල සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවිය තවදුරටත් සීමා කෙරෙන අතර, ඒ සඳහා අදාළ චක්‍රලේඛයද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත් කර ඇත.

මෙවර ජාතික පෝෂණ මාසයේ තේමාව ලෙස “කෙටි ආහාර ගැන නැවත සිතමු” යන්න තෝරාගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නිවසේ සකස් කරන ආහාර වෙනුවට සැකසූ සහ අතිසැකසූ ආහාර භාවිතය වර්තමානයේ වැඩිවෙමින් පවතින බවයි.

අධික සීනි, ලුණු සහ අහිතකර මේද අඩංගු මෙම ආහාර පහසුවෙන් ලබාගත හැකිවීම හා වෙළෙඳ ප්‍රචාරණයේ බලපෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ආහාර රටාවේ කොටසක් බවට පත්ව ඇති බවද අනාවරණය වී තිබේ.

නිරෝගී ශරීර ස්කන්ධ දර්ශකයක් ඇති පුද්ගලයන්ට නිතර කෙටි ආහාර ගැනීම අවශ්‍ය නොවන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය, එවැනි පුරුදු අධිබර, ස්ථූලතාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා හේතු විය හැකි බව අවධාරණය කරයි.

එබැවින් අනවශ්‍ය කෙටි ආහාර භාවිතය අවම කර, අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය සම්පන්න ස්වභාවික විකල්ප තෝරා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම 2026 ජාතික පෝෂණ මාසයේ ප්‍රධාන අරමුණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button