ප්‍රධාන පුවත්

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට නව වන්දි ක්‍රමවේදයක් සකස් කරයි

අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන් සඳහා වඩාත් යහපත් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ Harshana Nanayakkara මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය.

අතුරුදන්වූ පුද්ගලයෙකු වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශේෂ කාණ්ඩයක් ලෙස සලකා ඔවුන්ට වඩාත් සාධාරණ වන්දි ලබාදීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එම කමිටුව මේ වන විට වන්දි පැකේජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර, අතුරුදන්වූවන්ගේ පවුල්වල ජීවිත යළි ගොඩනැගීම එහි ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කෙරිණි.

පැමිණිලි විමර්ශනය කිරීමේ අරමුණ වන්දි ලබාදීම පමණක් නොව, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍ය අනාවරණය කර ගැනීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අතුරුදන්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් යුක්තිය ඉටු කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු කියා සිටියේය.

වත්මන් රජය බලයට පත්වන අවස්ථාවේ අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලය වෙත පැමිණිලි 11,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, ඒවා විමර්ශනය කිරීම සඳහා රුපියල් මිලියන 375ක මුදලක් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් වෙන් කර තිබේ.

ඒ අනුව පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටු 25ක් මේ වන විට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම හමුව සඳහා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර, එය වත්මන් රජයේ ක්‍රියාදාමය පිළිබඳ පවතින විශ්වාසය පිළිබිඹු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

2009 වසරේ යුද්ධය අවසන් වුවද අතුරුදන්වූවන්ගේ ගැටලු තවමත් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම ගැටලු සඳහා පසුගිය රජයන් ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවද සඳහන් කළේය.

අතුරුදන්වූ ඥාතීන් පිළිබඳ අතීතය අමතක කරන ලෙස තමන් නොපවසන නමුත්, විශ්වාසය ගොඩනගා ගනිමින් අනාගතය දෙස බැලිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

උතුරේ සහ දකුණේ ජනතාවගේ විශ්වාසය දිනාගත් වත්මන් රජය මෙම ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ලබාදීමට කැපවී සිටින බවද අමාත්‍ය නීතිඥ Harshana Nanayakkara මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button