ප්‍රධාන පුවත්

ව්‍යාජ වෛද්‍යවරියක් කෝටි 6ක මුදල් වංචාවකට අත්අඩංගුවට

බටහිර හා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කර රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ බව කියන 53 හැවිරිදි කාන්තාවක් හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය පසුව හොරණ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිට ඇති අතර, දිගු කාලයක් තිස්සේ මෙම වංචා ජාලය ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිසිය පවසන්නේ සැකකාරිය සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ලබාගෙන ඒවාට වෛද්‍ය ලාංඡන යොදා විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන සංවිධානය කරමින් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති බවයි.

විවිධ රෝග සඳහා විදේශීය විශේෂ ඖෂධ ගෙන්වන බව පවසමින් රෝගීන් රවටා ඇති ඇය, ලබාදී ඇත්තේ මෙරට භාවිතයට අනුමත නොකළ හා ප්‍රමිතියෙන් තොර ඖෂධ බව ද හෙළි වී තිබේ.

එමෙන්ම විදේශයන්ගෙන් ගෙන්වූ ඖෂධ තොග කොළඹ වරායේ රඳවා ඇති බවත්, ඒවා මුදා ගැනීමට මුදල් අවශ්‍ය බවත් පවසමින් වසර එකහමාරක පමණ කාලයක් තුළ පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම විහාරස්ථාන කිහිපයක නායක හිමිවරුන් ද ඇයගේ වංචාවට ගොදුරු වී ඇති බවට පැමිණිලි ලැබී ඇත.

සැකකාරියගේ වෛද්‍ය සුදුසුකම් පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ආයුර්වේද වෛද්‍ය සභාව වෙතින් කළ විමසීම්වලදී ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි නොවූ පුද්ගලයෙකු බව නිල වශයෙන් තහවුරු වී තිබේ.

වංචා කළ මුදල්වල ගමන් මඟ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඇයගේ නමින් ව්‍යාජ සමාගම් දෙකක්ද ලියාපදිංචි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම සමාගම් හරහා වංචා මුදල් ඩොලර් බවට පරිවර්තනය කර විදේශ රටවලට යවා ඇත්ද යන්න සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button