
FBI තොරතුරු රජය ඉල්ලුවාද? පාස්කු ප්‍රහාරය ගැන එජාපයෙන් ප්‍රශ්නයක්
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව එක්සත් ජනපද විමර්ශන අංශ සතුව පවතින සියලු තොරතුරු ශ්‍රී ලංකාව ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂය (එජාප) අවධාරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එජාපය සඳහන් කළේ, ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කර ඇති මෙම අවස්ථාවේදී රජය විසින් එක්සත් ජනපද බලධාරීන්ගෙන් එම තොරතුරු නිල වශයෙන් ඉල්ලා තිබේද යන්න පැහැදිලි කළ යුතු බවයි.
එවැනි ඉල්ලීමක් සිදුකර ඇත්නම්, ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරයද ජනතාවට හෙළි කළ යුතු බව පක්ෂය පෙන්වා දෙයි.
එජාපය පවසන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ අමෙරිකානු විමර්ශනයට අදාළ තොරතුරු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.
2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණ අමෙරිකානු විමර්ශනයක් ඉල්ලා තිබූ බවද එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගයද ඒ සඳහා ලබාදෙන බව දැනුම් දී තිබූ බව එජාපය කියා සිටී.
තවද, රනිල් වික්‍රමසිංහ මහතා සහ එවක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදීද එම ඉල්ලීම යොමු කර තිබූ බව සඳහන් කර ඇත.
ඒ අනුව FBI නිලධාරීන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ සමඟ එක්ව පුළුල් විමර්ශනයක් සිදුකර පසුව ශ්‍රී ලංකා රජයට වාර්තාවක් භාරදුන් බවද එජාපය පෙන්වා දෙයි.
2020 නොවැම්බර් 12 දින FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියා අධිකරණයට පිටු 71ක දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති අතර, 2020 දෙසැම්බර් 11 දින ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක්ද ගොනු කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.
එම නඩුවේ සඳහන් සැකකරුවන් කිහිප දෙනෙකු එම කාලයේදී ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි බවද නිවේදනයේ දැක්වේ.
මේ හේතුවෙන්, අමෙරිකානු විමර්ශන අංශ සහ අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින සියලු තොරතුරු ශ්‍රී ලංකාව ලබාගැනීම වැදගත් බව පෙන්වා දෙන එජාපය, වත්මන් රජය එවැනි පියවරක් ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටී.



