ප්‍රධාන පුවත්

අධිකරණ අපහාස මුවාවෙන් දේශපාලන දඩයමක් – ෆ්‍රී ලෝයර්ස් චෝදනා

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ උත්සාහයක් බව පවසමින් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය එය දැඩි ලෙස විවේචනය කර තිබේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ දේශපාලන මර්දනයක ස්වභාවයක් ගන්නා බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බලපෑම් කළ හැකි ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ සිදුකළ බවට චෝදනා කරමින් අදාළ පිරිසට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙන්නේ දේශපාලන නායකයින් කිහිපදෙනෙකුට එරෙහිව එකම නඩුවක් යටතේ මෙවැනි ආකාරයෙන් කරුණු වාර්තා කිරීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි. එමෙන්ම 2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීම හෝ පවත්වාගෙන යාම සඳහා පොලීසියට නීතිමය බලයක් නොමැති බව ද ඔවුන් අවධාරණය කරයි.

එවැනි පසුබිමක් තුළ දේශපාලන විවේචන මැඩපැවැත්වීම සඳහා පොලිස් බලය භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පිළිගත නොහැකි ක්‍රියාවක් බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

තවද, වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට සහාය ලබාදුන් බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමකින් පිළිගත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු නැවත සේවයට කැඳවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇති බවත්, පසුව නියෝජ්‍ය පොලිස්පති ධුරයටද උසස් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රජය විවේචනය කරන පුද්ගලයන් පාලනය කිරීම සඳහා දේශපාලනීකරණය වූ නිලධාරීන් යොදාගනිමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන යන බවට ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තියෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත්, 10 වැනි වගන්තියෙන් සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහසත් සහතික කර ඇති බැවින්, එම මූලික අයිතිවාසිකම් සීමා කිරීමට කිසිදු ආයතනයකට බලයක් නොමැති බව ද ඔවුන් අවධාරණය කර ඇත.

මෙවැනි ක්‍රියාමාර්ග හරහා දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අඩාල කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව සමස්ත සමාජයම එකමුතුව ප්‍රතිචාර දැක්විය යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button