ප්‍රධාන පුවත්

බේකරි නිෂ්පාදන සඳහා කාබනික අමුද්‍රව්‍ය – අගමැතිනියගේ අවධානය

බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි අමුද්‍රව්‍ය යොදා ගැනීම දේශීය ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට ද සෘජුව බලපාන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

ඊයේ (12) කොළඹදී පැවති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් ඇය සඳහන් කළේ, බේකරි කර්මාන්තය සාම්ප්‍රදායික පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී, රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදිය හැකි ක්ෂේත්‍රයක් බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

“ආර්ථික වශයෙන් රට නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක, බේකරි කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී, රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් කර ගැනීමට හැකියාව තිබෙන බව මම විශ්වාස කරනවා. ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බවයි. එබැවින් රසයට පමණක් මුල්තැන නොදී, කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කළ යුතුය.සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ නව නිෂ්පාදන නිර්මාණය කිරීම හරහා ගෝලීය “සෞඛ්‍ය සම්පන්න ආහාර” ප්‍රවණතාවය ජය ගැනීමට බේකරි කර්මාන්තයට හැකියාව තිබෙනවා.”

එසේම, දේශීය කෘෂි නිෂ්පාදනවල භාවිතය පුළුල් කිරීම මඟින් ගොවීන් සහ සංචාරක ක්ෂේත්‍රය අතර සෘජු සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

“විදේශීය සංචාරකයන්ට සපයන ආහාර සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමෙන් දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් ලැබෙනවා. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින අතර, අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කිරීම, නව තාක්ෂණය සඳහා සහනදායී ණය පහසුකම් ලබාදීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට රජය කටයුතු කරනවා. කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීමට දැනටමත් රජය කර්මාන්ත අමාත්‍යංශය හරහා වැඩසටහන් දියත් කර තිබෙනවා.”

මෙම සමුළුව සඳහා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ඇතුළු සංගමයේ නියෝජිතයින් සහ සාමාජිකයින් රැසක් සහභාගී වී සිටියහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button