ප්‍රධාන පුවත්

ලංගම පාඩුවට ප්‍රධාන හේතු පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඇතැම් ඩිපෝ අඛණ්ඩව පාඩු ලබන ප්‍රධාන හේතු ලෙස ඒවා ප්‍රාදේශීය ප්‍රදේශවල පිහිටා තිබීම සහ අදාළ මාර්ගවල මගී ප්‍රවාහනය සීමිත වීම හඳුනාගෙන ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (11) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තත්ත්වයට විසඳුම් ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එසේම ලංගම සතු බස් රථ සංචිතයේ පවතින තාක්ෂණික හා යාන්ත්‍රික අඩුපාඩු හේතුවෙන් නිතර අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට සිදුවන අතර, ඒ සඳහා වැයවන ඉහළ පිරිවැය ද ආයතනයට පාඩු සිදුවීමට බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2026 ජනවාරි 31 වනවිට ලංගම තුළ රියදුරන් 1,034ක්, කොන්දොස්තරවරුන් 1,022ක්, කාර්මිකයන් 429ක් සහ වැඩමූලිකයන් 59 දෙනෙකුගේ පුරප්පාඩු පැවති බවයි.

කෙසේවෙතත්, ඊයේ (10) වනවිට එම පුරප්පාඩුවලින් කොටසක් පිරවීමට හැකිවී ඇති අතර, දැනට රියදුරු පුරප්පාඩු 647ක්, කොන්දොස්තර පුරප්පාඩු 770ක්, කාර්මික පුරප්පාඩු 429ක් සහ වැඩමූලික පුරප්පාඩු 59ක් ඉතිරිව පවතින බවද ඔහු සඳහන් කළේය.

ඉතිරි පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, සේවක වැටුප් විෂමතා ගැටලු විසඳීම සහ නියමිත තනතුරුවලට අන්තර්ග්‍රහණය කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ ද අවසන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එම ගැටලු සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඉදිරියේදී ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button