
සලේ බැලීමට දිනපතා අවසර ඉල්ලා CID අධ්‍යක්ෂට ලිපි දෙකක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා දිනපතා හමුවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත වෙන වෙනම ලිපි යොමු කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත පසුවන සුරේෂ් සලේ මහතා මේ වනවිටත් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ සම්බන්ධයෙන් නඩුව ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ, සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහුගේ බිරිඳට සහ පුතාට දිනපතා රෝහලේදී හමුවීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සම්බන්ධයෙන් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට නීතිමය බලයක් නොමැති බවයි.
ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සිය ස්වාමිපුරුෂයා දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා CID අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර, නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ද තම සේවාදායකයා නිරන්තරයෙන් හමුවීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලමින් වෙනම ලිපියක් භාරදී තිබේ.
මරාන්තික උපවාසයක නිරතව සිටින සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම, ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීම සහ ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තමන්ට වෘත්තීයමය වගකීමක් ඇති බව නීතිඥවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
මේ අතර පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා නොකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරයේ වින්දිතයින් විසින් අද (11) මීගමුව–කොළඹ ප්‍රධාන මාර්ගයේ බාල්දිය මංසන්ධිය අසල නිහඬ විරෝධතාවක් ද සංවිධානය කර තිබුණි.



