
දිස්ත්‍රික්ක 14ක ඩෙංගු අවදානම ඉහළට
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් විශේෂ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරියේදී ඩෙංගු මර්දන පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම මෙහෙයුම්වලදී රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනතාවගේ පූර්ණ සහාය අත්‍යවශ්‍ය බවත්, ඔවුන්ගේ රාජකාරිවලට බාධා කරන හෝ සහයෝගය ලබා නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
වසර ආරම්භයේ සිට පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම සංඛ්‍යාලේඛන අනුව ජුනි 5 වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
එසේම මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.
මේ දක්වා ඩෙංගු ආශ්රිත මරණ 20ක් වාර්තා වී ඇති අතර, එම මරණ අතර කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජුනි 8, 9 සහ 10 යන දින තුන තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක 14කට අයත් MOH කොට්ඨාශ 72ක් කේන්ද්‍ර කරගනිමින් එය දියත් කෙරේ.



