
ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාසවලට නීති දැඩි කිරීමට රජයෙන් තීරණයක්
නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවී පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වන විට සකස් කර අවසන් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති බවය.
පළාත් සභා සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම නව රෙගුලාසි ගැසට් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව, දිවයින පුරා ක්‍රියාත්මක සියලුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නව නීතිමය රාමුවට යටත්ව ක්‍රියා කළ යුතු වන අතර, ලියාපදිංචි නොවූ හෝ නීතිවිරෝධී ආයතනවල වැඩිහිටියන් රඳවා තැබීමෙන් වළකින ලෙසද භාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඇතැම් වැඩිහිටි නිවාස ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යන අතර, තවත් සමහර ස්ථානවල ප්‍රමාණවත් පහසුකම්, ආරක්ෂාව සහ කාර්ය මණ්ඩලය නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එවැනි ප්‍රමිතියෙන් තොර ආයතන ඉදිරියේදී පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කරයි.
මේ අතර, දිවයින පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 455ක් පමණ ක්‍රියාත්මක වන අතර, රජය මගින් සෘජුව පවත්වාගෙන යන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන 03ක් පවතින බවද අනාවරණය වී තිබේ.



