
මෙනින්ජයිටීස් සැක රෝගීන් 237ක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගය සැක කෙරෙන පුද්ගලයින් 237 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
රෝගය තවදුරටත් පැතිරීම අවම කිරීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළේ, දැනට වාර්තා වන බොහෝ රෝගීන් වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් තත්ත්වයට අයත් බවයි.
ඇය පෙන්වා දුන්නේ මෙම රෝගී තත්ත්වය පළමුවරට අප්‍රේල් 15 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගත් බවත්, ඉන් අනතුරුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වූ බවත්ය.
වාර්තා වී ඇති රෝගීන් අතර වැඩි පිරිසක් පාසල් දරුවන් වන අතර, ඊයේ (31) පස්වරුව වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බව ඇය සඳහන් කළාය. සෙසු සියලු රෝගීන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
උණ, දැඩි හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇති අතර, වෛරස් මෙනින්ජයිටීස් බොහෝ අවස්ථාවල දින කිහිපයක් තුළ සුවය ලබන බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුර විමර්ශන හා පාලන ක්‍රියාමාර්ග සඳහා විශේෂ කමිටු පත්කර ඇති අතර, අපිරිසිදු ජල මූලාශ්‍ර රෝග ව්‍යාප්තියට බලපාන සාධකයක් විය හැකි බැවින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ විසින් විශේෂ මාර්ගෝපදේශ ද නිකුත් කර තිබේ.
එමෙන්ම දරුවන් අතර ආහාර හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසත්, සෑම විටම පිරිසිදු හා උණුකර නිවාගත් ජලය භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබාදී ඇත.



