
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය අද
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය අද (31) දිනට යෙදී තිබේ. මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනය සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ “දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනවලට එරෙහි වෙමු” යන්නයි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කළේ, දුම්කොළ කර්මාන්තය නව පරම්පරාව විශේෂයෙන්ම ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් තම නිෂ්පාදන වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා භාවිත කරන උපක්‍රම පිළිබඳ සමාජය දැනුවත් කිරීම මෙවර තේමාවේ ප්‍රධාන අරමුණ බවයි.
ඊ-සිගරට් ඇතුළු නිකොටින් නිෂ්පාදන “අඩු හානිකර” හෝ “ආරක්ෂිත විකල්ප” ලෙස ප්‍රවර්ධනය කිරීම හරහා දුම්කොළ භාවිතය වක්‍රාකාරයෙන් දිරිමත් කරන බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එමගින් පාරිභෝගිකයන් දිගුකාලීනව නිකොටින් මත යැපෙන තත්ත්වයක රඳවා ගැනීමට කර්මාන්තය උත්සාහ කරන බවද සඳහන් වේ.
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම වසරකම වළක්වාගත හැකි මරණ 20,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක අතරින් එකක් ලෙස හඳුනාගෙන තිබේ. රටේ සමස්ත මරණවලින් සියයට 83ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවද වාර්තා වේ.
ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලාංකිකයන් දිනකට දුම්වැටි සඳහා පමණක් රුපියල් මිලියන 520කට අධික මුදලක් වැය කරන බව සඳහන්ය. එම වියදම පවුල්වල ආහාර, අධ්‍යාපනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා වෙන් කළ යුතු මුදල් අඩු කිරීමට හේතු වන බවද පෙන්වා දී ඇත.
තවද, 2019 වසරේදී සිගරට් බදු මගින් රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 92.9ක් වුවද, දුම්පානය නිසා ඇති වූ සෞඛ්‍ය හා ආර්ථික හානි සඳහා දැරීමට සිදු වූ පිරිවැය රුපියල් බිලියන 214ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ද සඳහන් වේ.
මෙම දිනය නිමිත්තෙන් ADIC ආයතනය ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය අංශ, සිවිල් සංවිධාන සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුම්කොළ භාවිතයෙන් සිදුවන හානි අවම කිරීම සඳහා ගෙන යන ජාතික ප්රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරන ලෙසයි.



