ප්‍රධාන පුවත්

රියදුරන් 500කට වැඩ තහනම්

විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර පිරිසක් වැඩ තහනමට ලක්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අනාවරණය කර තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. එම කාරක සභාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් පැවැත්විණි.

වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් තවදුරටත් වැටුප් ලබා ගන්නා බවත්, එය විවිධ නීතිමය සහ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් සිදුවන බවත් නිලධාරීහු සඳහන් කළහ.

එමෙන්ම වැඩ තහනමට ලක්වූ සමහර රියදුරන් පෞද්ගලික බස් රථවල සේවය කරමින් ආදායම් උපයන බවද මෙහිදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු, අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එසේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම හා සතුටුදායක සේවාවක් සපයන ආයතනයක් බවට පත් කිරීම සඳහා සකස් කළ අනු කාරක සභා වාර්තාද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල පවතින ගැටලු සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන් කාරක සභාවේදී අවධානය යොමු කළ අතර, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button