
වැලිකඩ OIC අත්අඩංගුවට – චීන ජාතිකයන්ගේ පැමිණිල්ලෙන් තොරතුරු රැසක් එලියට
චීන ජාතිකයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
රාජගිරිය ප්‍රදේශයේදී මැයි 2 වැනිදා සයිබර් අපරාධ චෝදනා මත වැලිකඩ පොලිසිය විසින් චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් අතර සිටි 19 දෙනෙකු පලාගොස් තිබුණේ ඔවුන්ගේ ගුවන්ගමන් බලපත්‍ර වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ භාරයේ තිබියදීය.
පසුව, ඔහු සමීප සබඳතාවක් පැවැත් වූ කාන්තාවක් මාර්ගයෙන් අදාළ චීන ජාතිකයන් සම්බන්ධ කරගෙන, ගුවන්ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බවටද විමර්ශනවලදී සැකසහිත කරුණු අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් චීන ජාතිකයන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ල පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කර තිබේ.
ඒ අනුව මැයි 17 වැනිදා සිදුකළ පරීක්ෂාවකදී වැලිකඩ පොලිසියේ තිබූ ලොකරයක ගුවන්ගමන් බලපත්‍ර තොගය විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අදාළ නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ අනුව, එම ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් නොකර ස්ථානාධිපතිවරයා විසින් තම භාරයේ තබාගෙන ඇති බවද සඳහන් වේ.
එමෙන්ම, එම ලේඛන 20 වැනිදා බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් දරා ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම චෝදනා යටතේ, නීතිවිරෝධී ලෙස අන්සතු ගුවන්ගමන් බලපත්‍ර තබාගැනීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා මත ඔහුගේ වේයන්ගොඩ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඔහු වසර දෙකකට ආසන්න කාලයක් වැලිකඩ පොලිසියේ සේවය කර ඇති අතර, එම කාලය තුළ ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් සේවය හැරගොස් ඇති බවටද තොරතුරු වාර්තා වේ.
එම නිලධාරියා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමීප හිතවතෙකු බව නිතර ප්‍රකාශ කළ බවද වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.



