ප්‍රධාන පුවත්

නිවාස අධිකාරියේ බඳවාගැනීම් ගැන කෝප් වාර්තාවක් කැඳවයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත සිදුකර ඇති සේවක බඳවාගැනීම් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) නිලධාරීන්ට දැනුම් දී තිබේ.

එම කාරක සභාව රැස්වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 හා 2023 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාය.

එහිදී සේවක බඳවාගැනීම් සහ උසස්වීම් ලබාදීමේදී දේශපාලන බලපෑම් සිදුව තිබේද යන්න විමර්ශනය කළ යුතු බව කමිටුව අවධාරණය කර ඇත. ඇතැම් පත්වීම් සහ උසස්වීම් හේතුවෙන් අධිකාරියේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් මතුව ඇති බවද කමිටුවේ අවධානයට ලක්ව තිබේ.

තවද අධිකාරියේ මානව සම්පත් කළමනාකරණය නිසි ආකාරයෙන් සිදුකර මාස හයක කාලයක් තුළ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

2023 වසරේ අධිකාරියට එරෙහිව සහ අධිකාරිය විසින් ගොනුකර ඇති නඩු සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී සාකච්ඡා වී තිබේ. අධිකරණයේ තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන් දීර්ඝව කරුණු විමසූ කමිටුව, ඒ පිළිබඳවද වාර්තාවක් කැඳවා ඇත.

මේ අතර කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 1යි පර්චස් 26.5ක ඉඩමක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමුව තිබේ. නිවාස සහ වෙළඳ සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට ලබාදී තිබූ එම ඉඩම නියමිත සංවර්ධන කටයුතු නොකොට වෙනත් සමාගමකට පවරා ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

පසුව දෙවන සමාගම විසින් 2017 වසරේදී එම ඉඩමේ කොටසක් තෙවන සමාගමකට විකුණා තිබූ අතර, අධිකාරිය එම විකුණුම් ඔප්පුව අවලංගු කිරීමෙන් අනතුරුව අදාළ සමාගම අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක්ද ක්‍රියාත්මක වන බව නිලධාරීන් කෝප් කමිටුවට දැනුම් දී ඇති අතර, ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතුව පවතින බවද සඳහන් කර ඇත.

එමෙන්ම නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ. කොන්දේසි සහිත සින්නක්කර ඔප්පුවක් මගින් පෞද්ගලික සමාගමකට ලබාදී තිබූ එම ඉඩමේ කොටසක් පසුව වෙනත් සමාගමකට පවරා ඇති අතර, ඉතිරි කොටස පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවද හෙළිවී ඇත.

පසුව අධිකාරිය එම ඔප්පු අවලංගු කිරීමෙන් අනතුරුව අදාළ සමාගම අධිකාරියට එරෙහිව නඩු පවරා ඇති අතර, තවත් පුද්ගලයෙකු එම ඉඩම තම පෞද්ගලික දේපළක් බව සඳහන් කරමින් අයිතිය ඉල්ලා අධිකරණයට ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම සියලු නඩු මේ වනවිටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන යන පෙර පාසලකට අදාළ ඉඩම් කොටසක් පිළිබඳවද කෝප් කමිටුවේදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button