සෞඛ්‍යය

මෙනින්ජිටිස් ව්‍යාප්තියට සෞඛ්‍ය අංශයෙන් නව මාර්ගෝපදේශ

මෙනින්ජිටිස් රෝග තත්ත්වය පැතිරීම පාලනය කිරීම සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම මාර්ගෝපදේශ මාලාව තුළ රෝග ලක්ෂණ හඳුනාගැනීම, සායනික වර්ගීකරණය, රෝගය පැතිරෙන ආකාරය, ප්‍රතිකාර ක්‍රම, රෝග පාලන පියවර, පාසල් සඳහා උපදෙස්, රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා මට්ටමේ ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ උත්සව සම්බන්ධ මාර්ගෝපදේශ ඇතුළු කරුණු රැසක් ඇතුළත් බවයි.

විශේෂයෙන් පාසල් දරුවන් අතර මෙම රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

උණ, දැඩි හිසරදය සහ වමනය මෙනින්ජිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇති අතර, බොහෝ රෝගීන් දින 7ක් ඇතුළත සුවය ලබන බවද එම අංශය අවධාරණය කරයි.

පිරිසිදු නොකළ ජලය හා ආහාර භාවිතය, දෑත් නිසි ලෙස සෝදා නොගැනීම, කැස්ස සහ කිවිසුම් මගින් පිටවන බිඳිති සහ සමීප ඇසුර මගින් රෝගය බෝ විය හැකි බවද වාර්තාවේ සඳහන් වේ. වෛරසයට නිරාවරණය වූ පසු දින 3ත් 7ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකි බවද දැනුම් දී ඇත.

රෝගය වැළැක්වීම සඳහා සබන් සහ ජලයෙන් දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසීමේදී මුඛය සහ නාසය ආවරණය කිරීම, රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සමග සමීප සබඳතා අවම කිරීම සහ නිවෙස් හා ගොඩනැගිලි හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි පවත්වා ගැනීම වැදගත් බවද මාර්ගෝපදේශවල සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම උපදෙස් සකස් කර තිබේ.

එම උපදෙස් මාලාව සියලු පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත ද යොමු කර ඇති බව සෞඛ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button