
සුරැකුමෙන් රජයේ නොවන සේවකයින්ටත් විශ්‍රාම වැටුප් අවස්ථාවක්
වයස අවුරුදු 18 සිට 59 දක්වා අතර රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොමැති පුද්ගලයින් සඳහා “සුරැකුම” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය නිවේදනය කර තිබේ.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, තම ආදායම් හැකියාව සහ අවශ්‍යතාව අනුව කැමති විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් තෝරාගෙන දායක මුදල් ගෙවිය හැකි බවයි.
මෙම සැලසුම යටතේ වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා රුපියල් 50,000ක මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමේ හැකියාව පවතින බවද එහි දැක්වේ.
වාරික ගෙවීම් ප්‍රමාද වුවද ගිණුමේ ශේෂයට අදාළව විශ්‍රාම ප්රතිලාභ හිමිවන අතර, විශ්‍රාමිකයාගේ අභාවයකදී කාලත්‍රයාට හෝ යැපෙන්නාට සාමාජිකයාගේ වයස අවුරුදු 80 වනතෙක් එම විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබාදීමට නියමිතය.
විශ්‍රාම වැටුප් ලබාගැනීමට පෙර සාමාජිකයා මියගියහොත් අවමංගල්‍ය වියදම් සඳහා රුපියල් 100,000ක දීමනාවක්ද, ගෙවූ මුදල් ආයෝජන ආදායම සමඟ ආපසු ලබාගැනීමේ හෝ කාලත්‍රයාට විශ්‍රාම හිමිකම පැවරීමේ පහසුකමද පවතින බව සඳහන්.
එසේම හදිසි අනතුරක් හෝ රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්පූර්ණ අබලතාවයට පත්වන සාමාජිකයින්ට රුපියල් 500,000ක පාරිතෝෂිකයක් සමඟ එකඟ වූ විශ්‍රාම වැටුප ජීවිතාන්තය දක්වා ලබාදෙන බවද නිවේදනයේ දැක්වේ. එවැනි අවස්ථාවක ඉදිරි වාරික ගෙවීම්වලින්ද නිදහස් කරනු ලබයි.
ස්ථිර අර්ධ අබලතාවයකදී රුපියල් 100,000ක දීමනාවක් හිමිවන අතර, දරුවන්ගේ අධ්‍යාපනික හෝ වෙනත් අවශ්‍යතා සඳහා මූල්‍ය සහය ලබාගැනීමේ හැකියාවද පවතී.
මාසික, කාර්තුමය, වාර්ෂික හෝ කෙටි කාලීන ගෙවීම් ක්‍රම යටතේ නම්‍යශීලීව වාරික ගෙවීමේ පහසුකම්ද සලසා ඇති බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුර තොරතුරු සඳහා 011 288 6088 දුරකතන අංකය හෝ 077 144 3044 වට්ස්ඇප් අංකය ඔස්සේ විමසිය හැකියි.



