ප්‍රධාන පුවත්

2026 ආර්ථික වර්ධන ඉලක්කය ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

2026 වසර සඳහා සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කර තිබුණද, ගෝලීය ආර්ථිකයේ මතුව ඇති අස්ථාවර තත්ත්වයන් හේතුවෙන් එම ඉලක්කය පිළිබඳ නිශ්චිත පුරෝකථනයක් ලබාදීම දුෂ්කර වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, මාර්තු මාසය දක්වා පැවති ආර්ථික ප්‍රවණතා අනුව 2026 සඳහා 5%ක පමණ වර්ධනයක් බලාපොරොත්තු වූ බවයි. එහෙත් අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය ආර්ථික පරිසරයේ සිදුවූ වෙනස්කම් නිසා ඉදිරි කාලය පිළිබඳ නිශ්චිතව අදහස් දැක්වීම අපහසු වී ඇත.

මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වය මාස කිහිපයකින් සමනය වුවහොත්, වර්ධන වේගය 5%ට ආසන්න මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය. නමුත් එය දිගුකාලීනව පැවතියහොත් ආර්ථික වර්ධනයට තවදුරටත් බලපෑම් ඇතිවිය හැකි බවද අවධාරණය කළේය.

තෙල් මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සහ දෙවැනි කාර්තුව තුළ මතුව ඇති ආර්ථික පීඩනයන් හේතුවෙන් දැනටමත් යම් බලපෑමක් ඇති වී ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මේ වසරෙත් 5%කින් පමණ ආර්ථික වර්ධන වෙයි කියලා තමයි මුලින් බලාපොරොත්තුව තිබුණේ. නමුත් ඊට පස්සේ මාර්තු මාසයෙන් පස්සේ අප්‍රේල් වගේ මාසවල තිබුණ ලෝක ආර්ථික තත්ත්වයේ වෙනස නිසා ඉන් ඉදිරි මාස තුනෙන් පස්සේ කොහෙමද වෙන්නේ කියන එක පුරෝකථය කරන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේදී දැනට තිබෙන පුරෝකථනය තිබුණේ 5%ක ප්‍රමාණයකට ඒ මේ ආර්ථික අර්බුදය එන්න කලින්. ආවට පස්සේ කොහොමද මේක ඉදිරි කාලය තුළ වෙනස් වෙන්නේ, ස්ථාවර වෙන්න කියන එක ගැන තවමත් අවිනිශ්චිතතාවක් තියෙන්නේ. ඒ නිසා පුරෝකථනයක් කරන්න අමාරුයි. එකම දේ කරන්න පුළුවන් මේක මාස තුනකින් ඉවරවෙලා ඊළඟ මාස තුන සාමන්‍ය තත්ත්වයට පත්වුණොත් එතකොට මාස තුනේ බලපෑම විතර එන්නේ. එතකොට 5% කියන එක ටිකක් අඩුවෙන්න පුළුවන්. මාස තුනේ එක තව මාස 6කට, මාස 09කට දිගු වුණොත් ඒ බලපෑම ආර්ථික වර්ධනයට ඊට වඩා බලපාන්න පුළුවන් ඒක දැන්ම පුරෝථනය කරන් අපහසුයි මොකද එතනින් පස්සේ තවදුරටත් මොකද්ද වෙන්නේ කියන එක මම හිතන්නේ අපි කාටවත් පුරෝකථනය කරන්න අමාරු දෙයක්. ඒ නිසා මේ අවස්ථාවේ හරියටම ඉලක්කමකින් පුරෝකථනය කරන්න අමාරුයි නමුත් එකක් දකින් පුළුවන් ගිය වසරේ බලාපොරාත්තු වුණ මේක නොතිබුණානම් 5%ක ආසන්න ආර්ථික වර්ධනයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඊට වඩා යම් කිසි අඩුවීමක් වෙයි මොකද දැනටමත් යම් ආකාරයක බලපෑමක් වෙලා තියෙනවා දෙවැනි මාස තුන ඇතුළත තෙල් මිල වැඩිවීම, උද්දමනය වැඩිවීම වගේ දේවල් නිසා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button