ප්‍රධාන පුවත්

ආපදා වන්දි ගෙවීම්වල වංචා චෝදනා රැසක්

දිට්වා ආපදා වන්දි මුදල් බෙදාහැරීමේදී මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් වංචා සහ අක්‍රමිකතා සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

ඔවුන් පවසන්නේ, තමන්ට හිමි වන්දි මුදල් ලබා ගැනීමේදී කොමිස් මුදලක් ලබාදිය යුතු බවට ඇතැම් නිලධාරීන් බලපෑම් කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරමින් සඳහන් කළේ, ආපදා වන්දි මුදල් ලබාගැනීමේදී අදාළ නිලධාරියෙකු රුපියල් ලක්ෂයක මුදලක් කොමිස් ලෙස ලබාගත් බවය.

“මට අප්‍රේල් 20 වැනිදා ලක්ෂ 20ක චෙක් එකක් හම්බුණා. ඊට ඉස්සර AG ඔෆිස් එකේ සුමිත් මහත්තයා අපදා එකේ සර් කෙනෙක් එක්ක ඇවිල්ලා කිව්වා චෙක් එකක් තියෙනවා ගන්න එන්න කියලා. අප්‍රේල් 20 චෙක් එක දුන්නාට පස්සේ මට කිව්වා යන්න එපා ඉන්න කියලා. බැංකුවට ගියා චෙක් එක අතේ තියාගෙන ගියෙත් එයා. බැංකුවෙදි රෝසපාට කොළයක් පුරවන්න දුන්නා. මගෙන් ඇහුවා කීයක් ගන්නවාද කියලා මම කිව්වා 10ක් ගන්නවා කියලා එයා කිව්වා 10ක් ඕනේ නෑ ලක්ෂ 6ක් ඇති කියලා. මම සල්ලි අරන් දොර ගාවට එනකොට එයා ඇවිල්ලා කිව්වා ගන්නකෝ ඔය සල්ලි බලන්න මගේ එකත් තියෙනවා කියලා මම ඇහුවා ඔයාගේ එකක් මේකට කොහෙන්ද කියලා. රබර් බෑන්ඩ් එකේ දාලා තිබුණ ලක්ෂයක් වෙනම ගත්තා මේක තමයි මගේ කොමිස් එක කියලා සාක්කුවේ දාගෙන ගියා.”

අදාළ කාන්තාව පසුව මෙම සිද්ධිය පිළිබඳව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ පොලීසියට පැමිණිලි කර තිබේ.

ලද තොරතුරු අනුව, චෝදනාවට ලක්වූ ආපදා සහන සේවා නිලධාරියා තමන් ලබාගත් මුදල ආපසු ලබාදීමට සූදානම් බැවින් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්ය.

“සුමිත් සරුයි එයාගේ යාලුවෙකුයි ගෙදරට ආවා ඇවිත් කිව්වා නැන්දා මෙයාගේ වැඩ තහනම් වෙනවා සල්ලි ගත්තේ නෑ කියන්න. කොට්ටේ යට තිබ්බා කියන්න, සිහි කල්පනාව නෑ කියන්න, මෙට්ටේ යට තිබ්බායි කියන්න කියලා මෙයාලට ඉගැන්නුවා. මට කිව්වා හෙට ගිහිල්ලා පැමිණිල්ල අයින් කරන්න කියලා”

මේ අතර, මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මදුරුකැටිය ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධයෙන්ද ආපදා වන්දිලාභීන්ගෙන් කොමිස් මුදල් ලබාගන්නා බවට තවත් චෝදනා එල්ල වී ඇත.

“ලක්ෂ 50ක් පාස් කරනවා කියලා ලක්ෂ 10ක් අපෙන් ඉල්ලුවා ග්‍රාම සේවක මහත්මයා වෙනුවෙන් ගමේ ඉන්න පුද්ගලයෙක් ඇවිත් ඉල්ලුවේ අපිට ලැබුණේ දෙලක්ෂ අසූ නමදහස් හැත්තැ පහක්. ඒකෙනුත් පනස්දහක් ඉල්ල ගත්තා. ඒක දුන්නේ නැත්නම් අනිත් කොටස පාස් කරන්නේ නෑ කිව්වා. ඒක ගත්තෙත් ග්‍රාමසේවකට දෙන්න ඕනේ කියලා තමයි ගත්තේ.”

“ගෙවල් කැඩුණු කට්ටියගේ ගෙදරටත් ලක්ෂ 50ක් දීලා තියෙනවා නැති ගෙවල්වලටත් ලක්ෂ 50ක් දීලා තියෙනවා. හොඳට තියෙන ගෙවල්වලටත් දීලා තියෙනවා. එයා හිතවත් කට්ටියට ලක්ෂ 50 ගානේ දීලා තියෙනවා එයාට කොමිස් එකක් තියාගෙන ලක්ෂ 50ක් පාස් වෙච්ච කට්ටියට ලක්ෂ 10ක් ඉල්ල ගෙන තියෙනවා”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button