ප්‍රධාන පුවත්

ඩොලරය ඉහළ යාමෙන් ඉන්ධන සහ භාණ්ඩ මිලට බලපෑම්

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් ඉදිරි කාලයේදී ජනතාවගේ ජීවන වියදම ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ.

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහ බැංකුව විසින් පද්ධතිය තුළ පවතින ඩොලර් මිලදී ගැනීම සහ රුපියල් සංසරණය වැඩිවීම හේතුවෙන් ඩොලර් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් රුපියලේ අගය පහළ යාමේ ප්‍රවණතාවයක් මතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද ලෝක භූ දේශපාලනික අර්බුද, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අඩුවීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් රටට ලැබෙන ඩොලර් ප්‍රවාහය අඩාල වී තිබීමද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඛනිජ තෙල් ආනයන වියදම් ඉහළ යාමෙන් පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය විය හැකි බවද සඳහන් වේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන වියදම්, විදුලි ගාස්තු, ජල බිල්පත් සහ දෛනික භාණ්ඩ මිලද ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, අද (15) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15ක් ලෙස සටහන් වී තිබේ. එය 2023 දෙසැම්බර් 22 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසද සඳහන්ය.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් ලෙස වාර්තා වී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button