
අයහපත් කාලගුණයෙන් 3,475කට පීඩා
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ජනජීවිතයට බාධා එල්ල වී ඇති අතර, මේ වනවිට පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (14) නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තත්ත්වය හේතුවෙන් එක් මරණයක්ද වාර්තා වී ඇති අතර, එය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති අතර, පවුල් 489කට අයත් පුද්ගලයින් 1,310 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 8ක තාවකාලිකව රඳවා සිටින බවද සඳහන්ය. එමෙන්ම නිවාස 88ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.
වැඩිම බලපෑම වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි පවුල් 474කට අයත් පුද්ගලයින් 1,264 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙයි.
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 19ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ අද (14) පස්වරු 3.00 වනවිට මෙම තත්ත්වය සටහන් වූ බවයි.
වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුරයේ රාජාංගනය, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශ මෙන්ම මොනරාගල අලිකොටආර සහ මන්නාරමේ යෝධ වැවද වාන් දමමින් පවතී.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තත්පරයට ඝන අඩි 1,567කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙන අතර, ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,932කට අධික ජලය කිරිඳි ඔයට නිකුත් කරයි.
වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 708කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතින බැවින්, පහත්බිම් සහ ගංගා ආශ්රිත ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



