
මල්වානේ නිවස වටලයි ජනතා පරිහරණයට දෙන්නැයි අන්තරේ ඉල්ලයි
බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට කලක් චෝදනා එල්ල වූ මල්වානේ පිහිටි නිවස සහ ඉඩම පොදුජනතා සහ විශ්වවිද්‍යාල භාවිතය සඳහා පවරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතාවක නිරත විය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ජනතාවගෙන් අයථා ලෙස ලබාගත් දේපොළ යළි ජනතාවට පවරන බවට ලබාදුන් පොරොන්දු සිහිපත් කරමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට එක්ව සිටියහ.
අක්කර 15කට ආසන්න භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම නිවසේ හිමිකාරීත්වය පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැති බැවින් එය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ. බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයන් මාර්ගයෙන් අදාළ දේපොළට තමන්ගේ සම්බන්ධතාවක් නොමැති බව අධිකරණයට දැනුම් දීමෙන් පසු, එම දේපොළ වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.
අරගල සමයේදී මෙම නිවසට ගිනි තැබීමක් සිදුව ඇති අතර එමගින් ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදුවිය. පසුව ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙය භාවිත කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක නොවීය.
මෙම පසුබිම තුළ, භාවිතයෙන් තොරව පවතින අදාළ නිවස සහ ඉඩම ඉඩකඩ හිඟ විශ්වවිද්‍යාලවල අවශ්‍යතා සඳහා සහ පොදුජන පරිහරණයට ලබාදෙන ලෙස අන්තරේ ඉල්ලීමක් කරයි.



