යුද්ධ සහ ගැටුම්

අමෙරිකා – ඉරාන උණුසුම යළි ඉහළට

අමෙරිකානු යුද නෞකා කිහිපයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා ස්ථාන කිහිපයකට අමෙරිකාව ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවලට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටි USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු නෞකා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම ප්‍රහාරය තම ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් ‘ආත්ම ආරක්ෂාව’ යටතේ ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කළ බවයි. කෙසේ වෙතත් ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් අමෙරිකානු නෞකා කිසිවකට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවද වාර්තා වේ.

අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මිසයිල, ඩ්‍රෝන සහ කුඩා ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් නාවික බළකායට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

අනෙක් පසින් ඉරානය චෝදනා කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට පිවිසි සිය තෙල් නෞකාවක් සහ තවත් යාත්‍රාවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ බවයි. එමෙන්ම සිවිල් ප්‍රදේශවලටද හානි සිදුව ඇති බැවින් අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවද ඉරානය පවසයි.

අමෙරිකානු හමුදා තොරතුරු අනුව, ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සඳහා භාවිත කළ දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන ස්ථාන සහ බුද්ධි මෙහෙයුම් පහසුකම් ඉලක්ක කර ප්‍රතිප්‍රහාර දියත් කර තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ Qeshm Island සහ Bandar Abbas ආසන්න ප්‍රදේශ ඇතුළු පර්සියානු ගල්ෆ් වෙරළබඩ කලාප කිහිපයක ප්‍රබල පිපිරීම් සහ වෙඩි හුවමාරු ඇසුණු බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ කලාපයේ ආතතිය ඉහළ ගොස් තිබුණද, පාර්ශවයන් අතර පවතින සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button