
මාලදිවයින් ජනපති මුයිසු අද ශ්‍රී ලංකාවට
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
2023 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මෙම සංචාරය සිදු කෙරේ.
මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර, එම කාලය තුළ දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබීමට ද සැලසුම් කර තිබේ.
ජනාධිපති මුයිසු මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් අද (03) සිට 06 වැනිදා දක්වා කොළඹ නගරය හා අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර ඇත.
මේ අතර, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතය.
ඔවුන්ගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිත අතර, හෙට දිනයේ කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ සංචාරයකට එක්වීමට සැලසුම් කර තිබේ.
රුසියානු නියෝජිත පිරිස ලබන 05 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



