
යාල් දේවී සහ උත්තර දේවී තවමත් ධාවනයට නෑ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගවල අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබුණද, ‘යාල් දේවී’ සහ ‘උත්තර දේවී’ ඇතුළු දුම්රිය කිහිපයක් මෙතෙක් ධාවනයට එක්කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ, දුම්රිය හිඟය හේතුවෙන් තලෙයිමන්නාරම හා කන්කසන්තුරේ දක්වා ධාවනය වූ ප්‍රධාන දුම්රිය සේවාවන් යථා තත්ත්වයට පත්කිරීම ප්‍රමාද වී ඇති බවයි. අනෙකුත් මාර්ගවලද දුම්රිය ධාවනය සීමා සහිතව සිදුවන බැවින් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද ඔවුන් පෙන්වා දෙයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොමැති බව සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා චෝදනා කරයි.
“දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මන්නාරම මාර්ගයේ, උතුරු මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සියල්ල මේ වනවිට නිමවෙලා තියෙනවා.
නමුත් දුම්රිය හිඟකම නිසා තලෙයිමන්නාරම දුම්රිය, ප්‍රධානම දුම්රියවන කන්කසන්තුරේ දක්වා ධාවනය වූ ‘යාල් දේවී’ දුම්රිය තවමත් ධාවනයට එක් කරගන්න බැරි තත්ත්වයක පවතිනවා.
ඒ වගේම ‘උත්තර දේවී’ සීඝ්‍රගාමී දුම්රියත් මේ වෙනතුරුත් ධාවනයට එක් කරන්න බැරි වෙලා. අනෙකුත් මාර්ගවලත් දුම්රිය ධාවනය සීමාසහිත වෙලා.
මේ පිළිබඳව නිසි පියවර ගැනීමේ සූදානමක්වත් දෙපාර්තමේන්තුව මට්ටමෙන් නෑ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උත්සාහ කළත්, අමාත්‍යාංශ මට්ටමෙන් අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැති ආකාරයක් අපිට පෙනී යන්නේ. මේ නිසා දිනෙන් දින මගීන්ට දැඩි පීඩනයකට ලක්වෙන්න සිද්ධ වෙලා.
එමෙන්ම රජයේ සේවකයන්ගේ අලුත් මාසයට අදාළ ප්‍රවේශපත්‍ර නිසි පරිදි දුම්රිය ස්ථානවෙත එවලා නෑ” යැයි ඔහු පැවසීය.
තවද, සාමාන්‍ය මගීන් සඳහා නිකුත් කරන ප්‍රවේශපත්‍රද නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ද අපහසුතාවට පත්ව ඇති බව සඳහන් කරයි.
පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දිනෙන් දින පිරිහෙමින් පවතින බවද ඔහු කියා සිටියේය. ඉන්ධන අර්බුදය මධ්‍යයේ දුම්රිය ප්‍රවාහනය ශක්තිමත් කළ යුතු වුවද ඒ පිළිබඳ අවධානයක් නොදක්වන බවටද චෝදනා එල්ල විය.
“විදුලි දුම්රිය ආරම්භ කිරීමට පෙර පවතින දුම්රිය ප්‍රමාණය යථා තත්ත්වයට පත්කර දුම්රිය මාර්ග නඩත්තුව නිසි පරිදි කරන්න.
මුහුදුබඩ මාර්ගය දැඩි අබලන් තත්ත්වයක පවතින්නේ. පීලි මාරු නොකර, වේග සීමා පමණක් යොදාගෙන කරන මෙම කටයුතු නිසා මගී ජීවිත අනතුරට ලක්වන තත්ත්වයක දුම්රිය දෙපාර්තමේන්තුව පවතින්නේ” යැයිද සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.



