
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන වෛද්‍ය වාර්තාව නිකුත් කෙරේ
සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ මරණය, ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුව තහවුරු කර තිබේ.
මියගොස් ඇත්තේ මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ මහතා වන අතර, ඔහු ඊයේ (30) සිය නිවසේ ගෙවත්ත තුළදී සැකකටයුතු අයුරින් මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනික පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වැඩතහනමට ලක්ව සිටි බවද වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, මෘත ශරීරයේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් නිරීක්ෂණය වූ බැවින් මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවයි.
මෙම මරණයේ හේතුව තහවුරු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත්කර ඇති අතර, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද තොරතුරු ලබාදී තිබුණි.
මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකර තිබේ. එහි අවසන් නිගමනය අනුව මරණය සිදුව ඇත්තේ ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් බව තහවුරු වී ඇත.



