ප්‍රධාන පුවත්

රත්නපුරේ පිටකන්ද ගමට නිරන්තර අකුණු අවදානම – ගම්වාසීන්ගෙන් අකුණු සන්නායක ඉල්ලයි

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ගම්මානයේ වාසය කරන ජනතාව නිතර අකුණු ප්‍රහාරවලට මුහුණ දෙන තත්ත්වයක් පිළිබඳ වාර්තා වේ.

මෙම කඳුකර ගම්මානයේ පවුල් 300කට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය තේ, කුරුඳු සහ කෝපි වගාවන් වේ. ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක සිටින නමුත්, නිරන්තර අකුණු සැර වැදීම ඔවුන්ගේ දෛනික ජීවිතයට බරපතළ අවදානමක් වී ඇත.

ගම්වාසීන් පවසන්නේ පාසල්, පන්සල් සහ නිවාස ඇතුළු බොහෝ ස්ථාන අකුණු ප්‍රහාරවලට ලක්වන බවයි. ඔවුන්ගේ අනුව, අකුණු සැර නොවැදුණු නිවසක් සොයාගැනීමත් අපහසු තරම් තත්ත්වයක් පවතී.

මේ වන විට අකුණු සැර හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන් වේ. ඉකුත් අප්‍රේල් 13 වනදා රාත්‍රී, සිංහල හා හින්දු නව අවුරුදු උදාවට පෙර පැය කිහිපයකදී ද අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. එමෙන්ම පසුගිය 23 වනදා ගමේ විහාරස්ථානයකට අකුණු සැර වැදීමෙන් විහාරාධිපති හිමියන් අයගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව ගම්වාසීන් කිහිප වතාවක් බලධාරීන් දැනුවත් කරමින් අකුණු සන්නායක (Lightning Conductors) සවිකර දෙන ලෙස ඉල්ලීම් කළද, මෙතෙක් එම ඉල්ලීම් ඉටු වී නොමැති බව ඔවුන් කියා සිටී.

ඒ අනුව, සිය ජීවිත සහ දේපොළ ආරක්ෂා කර ගැනීම සඳහා හැකි ඉක්මනින් අකුණු සන්නායක සවිකර දෙන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button